small gov

1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත යටතේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබීය. මෙම පනතේ විධිවිධාන සහ ඒ යටතේ සාදන ලද රෙගුලාසි ක්‍රියාවට නැංවීම මගින් නිරවද්‍ය හා විශ්වසනීය මිනුම් පරිපාටි සහ මිනුම් විද්‍යා සේවා සැපයීම, පාරිභෝගික යහපත ආරක්ෂා කිරීම, ජාතික මිනුම් ප්‍රමිති පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර මිනුම් පද්ධතිවලට අනුකූල වන පරිදි එම ප්‍රමිති යාවත් කාලින කිරීම දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

සෑම රටකම ජාතික මිනුම් පද්ධතියක් අර්ථ දක්වා ඒවා ජාතික මිනුම් ප්‍රමිතීන් වශයෙන් එරට තුළ ස්ථාපනය කිරීමේ හා පවත්වා ගැනීමේ වගකීම දරන ආයතනයක් ඇත. එය පොදුවේ එක් එක් රටේ ජාතික මිනුම් ආයතනය ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ එම වගකීම දරන්නේ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවයි. දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති ජාතික මිනුම් පර්යේෂණාගාරය මගින් ශ්‍රී ලංකාව තුළ භාවිත මිනුම් හා සම්බන්ධ ජාතික ප්‍රමිතීන් හඳුනාගෙන ඒවා ස්ථාපනය කර, පවත්වාගෙන යාම සිදු වේ. මීට අමතරව කර්මාන්ත, ඉංජිනේරු, පාරිසරික, සෞඛ්‍ය රැකවරණය, මාර්ග ආරක්ෂාව ආදී ක්ෂේත්‍ර වලදී භාවිතා කරන මිනුම් උපකරණ අංක සංශෝධනය කිරීම හා සත්‍යෙක්ෂණය කිරීම ද දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබේ.

තවද, නෛතික මිනුම් විද්‍යා කාර්යයන් සඳහා නෛතික මිනුම් විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (International Organization of Legal Metrology) නිර්දේශ භාවිතා කරන අතර එම නිර්දේශවලට අනුකූලව විද්‍යුත් හා යාන්ත්‍රික කිරුම් මිනුම් උපකරණවල මාදිලි අනුමත කිරිම, මූලික හා වාර්ෂික සත්‍යෙක්ෂණ කටයුතු ආදිය සිදුකරනු ලැබේ.

මිනුම් සහ කිරුම් ආඥාපනත බලාත්මක කිරීමේ කාර්යය සඳහා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරය මුලින්ම සැලසුම් කර ඒ සඳහා අවශ්‍ය උපකරණ සපයනු ලැබූයේ 1937 තරම් ඈත කාලයේදීය. යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලැබූ මිනුම් ක්‍රමවේදය වන අධිරාජ්‍ය කිරුම් හා මිනුම් පිළිබඳ ක්‍රමවේදය අනුව සිදුකළ ස්කන්ධ, දිග සහ පරිමාමිතික ගනුදෙනුවලදී වෙළෙන්ඳන් විසින් භාවිතා කරනු ලැබූ කිරුම් මිනුම් උපකරණ සත්‍යෙක්ෂණය කිරීම පිණිස ප්‍රධාන වශයෙන්ම මෙම විද්‍යාගාරය සැලසුම් කර තිබුණි. මූලිකවම, 1946 අංක 37 දරන කිරුම් හා මිනුම් ආඥාපනත හා 1971, 1974 සහ 1979 වසරවලදී සිදුකරනු ලැබූ එහි තදනන්නතර සංශෝධන බලාත්මක කිරීම සඳහා වූ ස්කන්ධ, දිග සහ පරිමා සඳහා ශ්‍රී ලංකා ජාතික ප්‍රමිති ආයතනය වෙත විද්‍යාගාරයේ භාරකාරත්වය සහ නඩත්තුව පවරා තිබුණි. මෙම සීමිත ක්‍රියාකාරකම හේතුවෙන්, එය වෙළඳ හා වාණිජ කටයුතු සඳහා වගකිව යුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර වෙළඳාම් දෙපාර්තමේන්තුවේ කිරුම හා මිනුම් අංශයේ කොටසක් ලෙස දිගු කාලයක් පුරා පැවැතුණි.

එම අංශය 1977 වසරේදී පූර්ණ දෙපාර්තමේන්තුවක් බවට (මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව) උසස් කරන ලදී.

1974 වසරේදී, ශ්‍රී ලංකාව සිය මිනුම් ක්‍රමවේදය අධිරාජ්‍ය ඒකක ක්‍රමයේ සිට ජාත්‍යන්තර ඒකක ක්‍රමය (මෙට්රික් ක්‍රමය) දක්වා වෙනස් කිරීමේදී, රටෙහි කිරුම් හා මිනුම් මෙට්රික් ක්‍රමයට පරිවර්තනය කිරීම ක්‍රියාත්මක කිරීමේ වගකීම අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ මිනුම් ප්‍රමිති හා සේවා අංශය වෙත පවරන ලදී. අනතුරුව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් සභාපතිත්වය දරනු ලැබූ ව්‍යවස්ථාපිත ආයතනයක් වන මෙට්රික් පරිවර්තන අධිකාරිය ස්ථාපනය කරනු ලැබූ අතර එම කාර්යය සඳහා 1976 අංක 17 දරන ජාතික මෙට්රික් පරිවර්තන නීතිය සම්පාදනය කරනු ලැබීය. 1970 සිට 1980 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ සිදුවූ මෙට්රික් ක්‍රමය දක්වා මාරුවීමේදී විද්‍යාගාරය එය සඳහා මෙට්රික් මිනුම් ප්‍රමිති භාවිතය සඳහා වන උපකරණවලින් සන්නද්ධ වන ලදී. මෙම ප්‍රමිති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික මිනුම් ප්‍රමිති ලෙස පවතී.

ස්කන්ධයේ ජාතික ප්‍රමිතිය ලෙස 1975 තරම් ඈත කාලයේදී, ජාත්‍යන්තර කිරුම් හා මිනුම් කාර්යාංශයෙන් කිලෝග්‍රෑමයේ නිදර්ශකයක් ලබාගැනීම මගින් මිනුම් පිළිබඳ ජාතික ප්‍රමිතියක් ස්ථාපිත කිරීම පිණිස නිවැරැදි දැක්මක් තිබූ ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පැවැති පළමු රටවල් අතුරින් එකක් වූයේ ශ්‍රී ලංකාවයි. එසේම දිග පිළිබඳ ජාතික ප්‍රමිතිය ලෙස මීටරය යොදාගැනීම සඳහා සීමන් ස්ථායී හීලියම් නියොන් ලේසර නිරෝධනමානයද, ජාතික කාල ප්‍රමිතිය ලෙස තත්පරය යොදා ගැනීම පිණිස සීසියම් පරමාණුක ඔරලෝසුවද, තාපගතික උෂ්ණත්ව පරිමාණය සාක්ෂාත් කරගැනීම පිණිස ජල ත්‍රීක ලක්ෂ්‍යය ද, ප්‍රදීප්ත ත්‍රීව්‍රතාවය මැනීම පිණිස සම්මත ලාම්පුද, සරල ධාරා වෝල්ටීයතාවය මැනීම පිණිස සම්මත කැඩ්ම්යම් කෝෂ කට්ටලයක් ද, විදුලි ප්‍රේරතාව, ධාරණාව, විදුලි බලය මැනීමේ සම්මත උපකරණය ලෙස ක්‍රමාංකිත සම්මත ප්‍රතිරෝධක කට්ටලයක්ද ලබා ගන්නා ලදී.

1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත 1995 වසරේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. වෙළඳාම, කර්මාන්ත, විද්‍යාව, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව ආදියේදී භාවිතා කරනු ලබන සියලු මිනුම්වල අවශ්‍ය උපරිම නිරවද්‍යතාව සාක්ෂාත් කරගැනීමේදී අතිශයන් වැදගත් වන්නා වු රටේ මිනුම් නීතිය වනුයේ එයයි. එම පනත මිනුම් විද්‍යාවේ විෂය ක්ෂෙත්‍ර විශාල සංඛ්‍යාවක් ආවරණය කරන අතර එහි විධිවිධාන ප්‍රකාරව ජාතික මිනුම් දෙපාර්තමේන්තුව සහ ජාතික මිනුම් විද්‍යාගාරය ස්ථාපිත කරන ලදී.

අද වන විට දෙපාර්තමේන්තුව ස්කන්ධ, දිග, උෂ්නත්වය මැනීම සඳහා ජාතික ප්‍රමිති ස්ථාපිත කර ඇති අතර විදුලිය, කාලය සහ සංඛ්‍යාත මැනීම පිණිස සෑහෙන දුරකට ප්‍රමිති ස්ථාපිත කර තිබේ. අද වන විට දීප්තිමිතිය සහ ශබ්දය මැණීමේ උපකරණ ක්‍රමාංකනය සඳහා කර්මාන්තයෙහි ඉහළ යමින් පවතින ඉල්ලුමක් පවතී. තවද, යම් විශේෂිත කර්මාන්ත විසින් භාවිතා කරනු ලබන විශේෂ උපකරණ තිබේ. මෙය වැදගත් කර්මාන්ත අවශ්‍යතාවයක් වන අතර සේවාලාභියාගේ ඉල්ලීම අනුව සකස් කරනු ලැබූ ශිල්පීය ක්‍රම යොදා ගනිමින් විශේෂිත කර්මාන්ත මිනුම් උපකරණ ක්‍රමාංකනය කිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරකමක් වනු ඇත.

මෙම කාලසීමාව තුළ සම්මත ප්‍රතිරෝධක, වෝල්ටීයතා ප්‍රමිති, මුහුර්තක ගණක සහ ඉහත උලකරණ මෙහයවීම සඳහා අවශ්‍ය මෘදුකාංග හඳුන්වාදීම මගින් විදුලි මිනුම් සඳහා මූලික ප්‍රමිති ස්ථාපනය කරන ලදී. රටේ ඇති ප්‍රධාන පෙළේ විද්‍යාගාර සඳහා ක්‍රමාංකන පහසුකම් සැපයීම දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනු ලබන තවත් කර්තව්‍යයකි.